ඇනා ෆොක්ස් වෘත්තියෙන් ළමා මනෝ වෛද්‍යවරියක්. හිටපු ළමා මනෝ වෛද්‍යවරියක් කිව්වොත් තමා වඩාත්ම නිවැරදි. මොකද කිව්වොත් කලකට පෙර ඈ මුහුණ දුන් බරපතල සිදුවීමක් නිසා ඇය දැන් ඇගෝරාෆෝබික් නම් මානසික රෝගයෙන් පෙළෙනවා. වෛද්‍ය කාල් ලැන්ඩි තමා ඇගේ වෛද්‍යවරයා වශයෙන් කටයුතු කරන්නේ. ඔහු සතියකට එක් වරක් ඇගේ නිවසට පැමිණ ප්‍රතිකාර කරනවා. ඉතින් මේ ඇගෝරාෆෝබික් තියෙන අය අනියත බියක් දක්වනවා විවෘත එළිමහනට පිවිසෙන්න. සරලවම කිව්වොත් නිවසෙන් එළියට පිවිසෙන්න ඔවුන් බයයි. ඉතින් ඇනාත් මේ මානසික රෝගී තත්වයෙන් පෙළෙන කෙනෙක්. මේ ඇනාට ඉන්නවා හුරතල් පූසෙක්. එයාගේ නම පන්ච්.
ඉතින් ඇනා හා පන්ච්ට අමතරව ඇනාගේ නිවසේ බිම්මහලේ කුලී පදනම මත නේවාසිකයෙක් ජීවත් වෙනවා. මේ තරුණයාගේ නම ඩේවිඩ් වින්ටර්ස්. මේ ඩේවිඩ් තමයි ඇනාට එළිමහනෙ තියෙන වැඩ බොහොමයක්ම වගේ කරලා දෙන්නේ. ඒ කොහොමද කිව්වොත් නිවසේ කසල බාල්දිය පවා එළියට දාන්නේ ඩේවිඩ්. ඒවගේම ඇනා දවස පුරාම නිවස තුල ඉන්න නිසා වටපිටාව ගැන හොඳ අවධානයෙන් ඉන්නේ. ඉතින් මේ අස්සේ ඇගේ නිවස ඉදිරිපිට පාරෙන් එහා පැත්තේ තියෙන අංක 101 දරණ නිවසට අලුතෙන් රසල් කියලා පවුලක් පදිංචියට එනවා. හරි හදිස්සියෙන් තමා ඔවුන් මේ නිවසේ වාසයට එන්නේ.
ඇනාගෙ සවන වැකුණු විදිහට ඔවුන් හදිස්සියෙන් නිව්යෝර්ක් වලට ඇවිත් තියෙන්නේ බොස්ටන් ඉඳලා. ඉතින් මේ රසල් පවුලේ ඉන්නවා නව යොවුන් වියේ පසුවන ගැටයෙක්. එයාගේ නම ඊතන්. වැඩි කාලයක් යන්න කලින් ඇනා ඊතන්ගේ හොඳ යාලුවෙක් වෙනවා. ඉන් පසුව ඩේවිඩ්වත් නිවසේ නොසිටි රැයක උද්ගත වුණු අනපේක්ෂිත සිදුවීමකින් ඇනාට හඳුනගන්න ලැබෙනවා ජේන් රසල්ව. ඒ කියන්නේ ඊතන් ගේ මව, තවත් ආකාරයකින් කිව්වොත්, ඇට්කින්සන් සමූහ ව්‍යාපාර ආයතනයේ විධායක නිලධාරියෙකු ලෙස සේවය කල ඇලිස්ටෙයාර් රසල්ගේ බිරිඳ. ඇතිවුණු පුංචි කතාබහකින් මෙයාලා ගොඩක් සමීප මිතුරන් වෙනවා. දවසක් රැයක ඇනා අවදි වෙන්නේ කිසිවෙකුගේ බහින්බස් වීමක් ඇසිලා. ටිකක් ජනේලය අසලට ගිහින් බලන ඇනාට දකින්න ලැබෙන්නේ මොකක්ද? ජේන් හා ඇලිස්ටෙයාර් අතර වෙන වචන හුවමාරුවක්. ඇසිල්ලකින් පිහියක් ඇදලා ගත්ත ඇලිස්ටෙයාර් රසල් සිය බිරිඳට එකෙන් අනිනවා.
එක්වරම දුටු සිදුවීම නිසා භීතියෙන් කම්පනය වුණු ඇනා වහාම හදිසි ඇමතුම් ඒකකයට ඇමතුමක් ගෙන මේ අපරාධය දැනුම් දෙනවා. මඳ වේලාවකින් නිව්යෝර්ක් පොලිස් අංශයේ අපරාධ පරීක්ෂකවරු දෙදෙනෙක් එන්නේ මේ සිදුවීම ගැන හොයාබලන්න. නමුත් ඔවුන්ට රසල් නිවසෙන් කිසිදු අපරාධයක් හමුවන්නේ නෑ. එහෙත් අපරාධ පරීක්ෂකවරු දෙදෙනට ඝාතනය වුණා යැයි පැවසූ ජේන් රසල් හමුවෙන්නේ සීරීමක් හෝ නැතිව. ඒ වුණත් ඒ ඉන්නේ ඇනාට දින කිහිපයකට පෙර හමුවුණූ ජේන් රසල් නෙමෙයි. ඇනා කවදාවත් දැකලා නැති කාන්තාවක්. ඒසේම මේ ජේන් රසල් එකහෙලාම පවසනවා ඇය කෙදිනක හෝ ඇනා හමුවී නැති බව. එතකොට ඇනාට දින කිහිපයකට පෙර හමුවුණු, ඇගේ ඇස් ඉදිරියේම ඇලිස්ටෙයාර් අතින් ඝාතනය වුණු කාන්තාව කවුද? ඇය දුටු කාන්තාවගේ ඝාතනය, ඇගෝරෆෝබික් රෝගය වෙනුවෙන් ඇනා භාවිත කරන ඖෂධයක් නිසා මනසේ මැවුණු මායාවක්ද? ටික දවසකට පසුව ඇනාට ඝාතනය වුණු ජේන් රසල්ගේ කරාබුවක් ඩේවිඩ්ගේ යහන අසල තිබියදී හමුවෙන්නේ මේ අබිරහස තවත් තීව්ර කරමින්. ඇනා දිනපතාම ඇගේ දියණියට හා සැමියාට දුරකථනයෙන් කතා කරනවා. ඒත් ඔවුන් ඉන්නේ කොහේද? රසල් පවුල බොස්ටන් ඉඳලා හදිසියේම නිව්යොර්ක් එන්නේ ඇයි? අවසාන වශයෙන්, කවුද මේ ඩේවිඩ් වින්ටර්ස්?