කතා නායකයා වන රොබ් කැලෑවකට වෙලා තනියෙම ජීවත් වෙන වයසක මනුස්සයෙක්. මේ මනුස්සයාගෙ තනි නොතනියට ඉන්න එකම කෙනා ඊරියක්. හැබෑට බල්ලෙක් පූසෙක් හැදුවානම් කමක් නෑ කියමු? ඒත් මොකටද මේ ඌරෙක් හදන්නෙ. රොබ්ගෙ ජීවිකාව වෙන්නෙ විශේෂිත පොළව යට හැදෙන හතු වර්ගයක් හොයලා අමීර් නම් වූ ගැනුම්කරුවෙකුට ඒවා විකුණන එක. ඉතින් ඒවා හොයාගන්න සහය වෙන්න ඉන්නෙ රොබ්ගෙ ඌරා පමණයි. රොබ් කිසිම අවස්ථාවක කැලෑවෙන් එළියට නොයන, පිටත ලෝකය එක්ක සම්බන්ධකම් පවත්වා ගන්නෙ නැති පුද්ගලයෙක්.
ඉතින් කැලෑවට වෙලා තමන්ගෙ පාඩුවේ තමන්ගෙ වෘත්තීය සහයක, හුරතලා, හිතවතිය මේ කියන හැමදේටම ඉන්න ඌරා එක්ක ජීවත් වෙන රොබ්ට දවසක් ලොකු ඇබැද්දියකට මූණ දෙන්න වෙනවා. ඒ හොරු දෙන්නෙක් ඇවිල්ලා තමන්ගෙ තනියට හිටිය එකම දේ වෙච්ච ඌරාව හොරකම් කරගෙන යන එක. ඉතින් මේ සිද්ධිය නිසා රොබ්ට අකමැත්තෙන් උනත් සිද්ධ වෙනවා ආයෙම නගරෙට යන්න.
ඉතින් මේ කැලෑවේ ජීවත් උන මනුස්සයා නගරෙන් ඈත් වෙලා හිටියාට නගරෙ අයව අදුනනවා. ඒ කොහොමද? ඉස්සර මේ රොබ් මොන වගේ කෙනෙක්ද? නගරෙට ගියාට පස්සෙ මොනා වෙයිද? එයාට තමන්ගෙ ඌරාව ආයේ හොයාගන්න ලැබෙයිද නැද්ද කියන දේවල් ඔයාලා බලලම දැනගන්න එහෙනම්.