“අතීතය”
1960 කාලයේ ජීවත් වූ ඇය නමින් ඇලෙක්සැන්ඩ්රා. හැබැයි සැන්ඩි කියනවටයි කැමති. එයා නර්තනයට, ගායනයට හුගක් දක්ෂයි. මේ බව එයා හැමෝම ඉදිරියේ එක්තරා තැනකදී පෙන්නනවා. එතනදී එයාට මුණගැහෙනවා ජැක් කියලා කඩවසම් තරුණයෙක්. සැන්ඩිගෙ හැකියාවන් දැකලා ඔහු බලාපොරොත්තු දෙනවා ඉදිරි ගමන සාර්ථක කරගන්න උදව් වෙන්න. ලොකු තැනකට යන්නත් මුලින්ම පුංචි තැනකින් පටන් ගන්න ඕන කෙනෙක් කැමතියි. සැන්ඩිත් එහෙමයි. ඒත් ඔය කියන විදිහට ජීවීතේට නොදැකපු පිරිමියෙක් ඒ හැම හීනයක්ම ලගා කරගන්න උදව් කරාවිද? කිසිම දෙයක් බලාපොරොත්තු නොවී?
“වර්තමානය”
ඇය නමින් එලොයිස් ‘එලී’ ටර්නර්. හුගක් පිටිසර පැත්තක ඉන්නෙ. එයා කැමති එලී කියනවට. ඇදුම් මෝස්තරකරණයට දක්ෂයි. හැකියාව නිසාම ලන්ඩන්වල ලොකු තැනක ඉගෙන ගන්නත් අවස්ථාව ලැබෙනවා. කෙල්ලොම ගොඩක් ඉන්න තැනක නවතින්න ලැබුනට වැඩිකල් ඉන්න ලැබෙන්නෙත් නැහැ හේතු ගොඩක් නිසා. ඉන්න තැන ගෙදර වගෙ දැනෙන්න ඕන නිසා වෙන තැනකුත් හොයාගන්නවා. එතන ඉඩ තියෙනවා. බැලු බැල්මටත් හොදයි. ඒත් රෑට, එතන භයංකාර හීන වලට අරගෙන යන තැනක්. ඇත්තටම තමන් ඒ හීන වලට මුහුණ දෙනවා වගෙ තැනක්.
මේ වසරේ නිකුත් වෙච්ච තවත් අලුත්ම චිත්රපටයක් අරගෙනයි මේ මුණගැහෙන්නෙ. නිකන්ම නිකන් චිත්රපටයක් නෙවෙයි මේ වසරේ නිකුත් වුන චිත්රපට පාදක කරගෙන ලබන වසරේදී පවත්වන ඇකඩමි සම්මාන උළෙලේ සම්මාන නොලැබුනත් අඩුම තරමේ නිර්දේශ නාම යෝජනා වලට හො හිමිකම් කියන්නවත් පුලුවන් විදිහේ අපූරු, වෙනස් චිත්රපටයක්. චිත්රපටයෙ පසුබිම මෙන්න මෙහෙමයි.
Scott Pilgrim vs. the World, Baby Driver වැනි අතිශය ජනප්රිය චිත්රපට හරහා බොහෝදෙනා අතරේ ජනප්රියත්වයට පත්වෙච්ච Edgar Wright යටතේ තමයි මේ Last Night in Soho අධ්යක්ෂණයත් වගේම චිත්රපටයෙ පිටපත සහය රචනයත් සිදුවෙලා තියෙන්නෙ. ඒවගේම චිත්රපටයෙ පිටපත සහය රචනයට එක් වූ අනික් කෙනා තමයි 2020 වසරේ ඔස්කාර් සම්මාන රැසක්ම ලබාගත්ත 1917 චිත්රපටයෙ රචනය සිදු කල Krysty Wilson-Cairns කියන්නෙ. මේ වසරේ ඔක්තෝබර් 29’වැනිදා සිට ලොවපුරා ආරම්භ කලේ Universal Pictures බෙදාහැරීමක් විදිහටයි. ඒවගේම නොවැම්බර් 19 වැනිදා VOD (ඒ කිව්වේ අපිට නම් අන්තර්ජාලයට වීඩියෝ පිටපත්) නිකුත් කිරීමක් සූදානම් කරලා තිබුණු නිසා ඇ.ඩො.මි. 43කින් නිර්මාණය වුන මේ චිත්රපටයෙ වියදම පියවාගන්න ලැබෙන්නෙ නැහැ කියලා විශ්වාස කරන්න පුළුවන්.