තාත්තවයි මල්ලිවයි ගෙයින් පිටමං කළාට පස්සේ ආලියාට දැනුනේ මෙහෙමයි කියන්න බැරි සැනසීමක්. දිග ඇරලා තිබ්බ පාඩම් පොත් ටික එහෙමම තිබ්බ ගමන් ආලියා ගියේ නාන කාමරේට. ඇඟපත හෝදගෙන සිංදුවකුත් මුමුණ මුමුණ එළියට ආපු ආලියා සුවඳ විලවුන් ටිකක් එහෙමම හලාගත්තා. ඒ වෙලෙයි එයාගේ ෆෝන් එක නාදවෙන්න ගත්තේ. ෆෝන් තිරයට හිනා වුණු ආලියා කෝල් එකට උත්තර දෙන්න යුහුසුළු වුණා. “හරි බබා.. මං මේ එනවා”. හනික ඇඳුමකට බැස්ස කෙල්ල කාමරේ ලයිට් එහෙමම දාලා තිබ්බ ගමන් ගෙයින් එලියට බැස්සා. මහ රෑ කාත් කවුරුවත් නැති පාර දිගේ ඇවිදන් යද්දි හිතට බයක් නොදැනුනාමත නෙමේ, ඒත් හිතට දිරිය අරන් ඇය හනි හනික පියවර තිබ්බා. ඈත වංගුව ගාව යතුරුපැදියක ඡායාව දැක්ක ආලියාගේ මූණට ආවේ සැනසීම මුසු වෙච්ච හිනාවක්. “රිස්වාන්, මං ආවා” ඇය එහෙම කියාගෙන යතුරුපැදියට ගොඩ වුණේ. පනගැන්වුනු යතුරුපැදිය පාරේ ඉදිරියට යන්න ගත්තා.වෙලාව පාන්දර 1ට විතර ඇති.
