චිත්‍රපටි හින්දි

Bob Biswas (2021) Sinhala Subtitles | පිස්තෝලය අතැති ඔහු! [සිංහල උපසිරසි]

පොලිස් ස්ටේෂමේ ඉඳන් හෙමි හෙමින් විද්‍යා පය තිබ්බේ මෙට්‍රෝ ස්ටේෂන් එක දිහාට. හිතාමතා ගියා නෙමේ ඇය ඔහේ ඒ පැත්තට ඇදුනා. හිතේ ප්‍රශ්න කෝටියක් තෙරපෙන ගමන්. අර්නබ් සහ මිලන් දාම්ජී ඇගේ හිස තුළ නැවතිල්ලක් නැතුව කරක් ගහනවා. මේ දෙන්නා අතර තියෙන සම්බන්ධය මොකක්ද? අර්නබ් දැන් ඉන්නේ කොහෙද? මිලන් දාම්ජී ඉන්නේ කොහෙද? මදිපාඩුවට වගේ ඇගේ හිස පුරාම මිස්ටර් ඛාන්ගේ හඬත් රැව්පිළිරැව් දෙන්න පටන් ගත්තා.

සිතුවිලි එක්ක පොරබදින ගමන්ම ඇය ස්ටේෂන් එකටත් ඇවිදින්. මෙට්‍රෝ දුම්රිය අල්ලගන්න හැල්මේ දුවන අය අතරේ ඉබි ගමනින් කල්පනාකාරීව ඇදෙන මේ ගැබිණි කාන්තාව ගැන කවුරුත් තැකීමක් කළේ නෑ. ටිකට් එකකුත් ගත්ත ඇය නොදැනීම වේදිකාවේ ගැට්ට ළගටම ඇවිත් නතර වුණේ. අවට වටපිටාව ගැන ඇයට සිහියක් තිබුණේම නැති තරම්. දෙලොවක් අතර තනිව කිසිවෙකුට විසඳිය නොහැකි ප්‍රහේලිකාවක ඇය සිරවී සිටියා. ඉතින් ඇය කොහොම දැනන් ඉන්නද, මාරයා ඇය දෙස බලා සිටිනා බව??

කවුරුන් හෝ විද්‍යාගේ අතට තට්ටු කළා. කල්පනා ලෝකයෙන් මිදුනු ඇය වහාම හැරුණා.
ඒ මොහොතේ මෙට්‍රෝ දුම්රියද වේගයෙන් වේදිකාව දෙසට ඇදෙමිනුයි තිබුණේ.
විසුළු පෙනුමැති මිනිසෙක් ඇයට පිටුපසින් සිටගෙන සිටියා.

දැන් නම් මතක් වෙන්නැති මොකක් ගැනද මේ මෙච්චර වෙලා කියෙව්වේ කියලා. ඔව්, බොලිවුඩ් සිනමාවේ සදා අමරණීය ඒ ත්‍රිලර් එක, ඒ කතාව : Kahaani (2012) චිත්‍රපටියේ එක වැදගත්ම දර්ශනයක් ගැනයි ඒ දෙඩුවේ. බලපු නැති කවුරුම හරි ඉන්නවා නම් සමාවෙන්න ඕන පොඩියට හරි ස්පොයිල් වීමක් වුණා නම්. හැබැයි තාමත් නොබලපු කෙනෙක් ඉන්නවා කොහෙත්ම සමාවක් ඉල්ලන්න වටින්නෙත් නැහැ. කමක් නෑ, දැන් හරි ගිහින් බලන්නකෝ. මේ දැන්මම..

හරි, ඇයි දැන් මේ අවුරුදු 9කට පස්සේ ආපහු Kahaani ගැන ඇදලා ගත්තේ කියලා බලනවා ඇති. හේතුව තමා උඩ පින්තූරේ ඉන්න අමුතු කෙනා. ඔන්න ඔය මනුස්සයා තමා බොබ් කියන්නේ, බොබ් බිස්වාස්. අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැති චරිතයක් වගේම ලේසියෙන් අමතක කරන්නත් බැරි චරිතයක්නේ බොබ් බිස්වාස් කියන්නේ. සීමිත මිනිත්තු කිහිපයකට Kahaani චිත්‍රපටියේ රංගනයේ යෙදුනත් ඒ මතක නම් ත්‍රිලර් රසිකයන්ගේ හිතේ හැමදාටම පැලපදියම් කරන්න බොබ්ට පුළුවන් වුණා. ඒකට සම්පූර්ණ ක්‍රෙඩිට් එක යන්න ඕන ඒ චරිතයට පණ දුන්නු Saswata Chatterjee මහත්තයට. ඉතින් මේ පොඩි චරිතයේ ප්‍රබලත්වය නිසාම ඊට අවුරුදු 9කට පස්සේ අධ්‍යක්ෂ, නිෂ්පාදක සෙට් එකට හිතෙනවා මේ චරිතයෙන් චිත්‍රපටියක් දැම්මා නම් හොඳයි නේද කියලා. ඔන්න එහෙමයි බොබ් බිස්වාස් සලරුව අපි අතරට එන්නේ.

විශේෂයෙන්ම කියන්න ඕන මෙවර බොබ් විදිහට අපි හමුවට එන්නේ Saswata මහත්මයා නම් නෙමේ. ඔහු මේ සිනමාපටය ප්‍රතික්ෂේප කරලා තිබුණා එකම චරිතය නැවත වතාවක් නිරූපණයට කැමැත්තක් නැති බව කියමින්. ඊට පස්සෙයි නිෂ්පාදකයෝ Abhishek Bachchan මේ චරිතය සඳහා ප්‍රවිෂ්ට වෙන්නේ. ඒ වගේම තේරෙනවා ඇතිනේ මේක Kahaani (2012) චිත්‍රපටියේ Spin-off එකක් කියලා. නමුත් අධ්‍යක්ෂණය කළේ නම් Sujoy Gosh විසින් නෙමේ. ඔහුගේ දුව, Diya Annapurna Ghosh විසින් තමයි මෙහි අධ්‍යක්ෂණය සිද්ධ වුණේ. නමුත් ඇයගේ කුළුදුල් අධ්‍යක්ෂණය නම් පැසසිය යුතුමයි කියලා හිතෙනවා.

ඉතින්, බොබ් බිස්වාස් චිත්‍රපටිය නිකුත් වුණේ දෙසැම්බර් 3වෙනිදා. Thriller|Crime|Drama ගණයට තමා අයත් වෙන්නේ. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.4ක සෑහෙන්න පුළුවන් අගයක් ලැබිලා තියෙනවා. Abhishek Bachchan සමඟ Chitrangda Singh ප්‍රධාන චරිත වලින් චිත්‍රපටියට දායක වෙනවා. ඉතින් පුංචි පුංචි දේවල් අමතක කරොත්, හොඳ මට්ටමේ සලරුවක් මට නම්. බලන්න කියලා ආරාධනා කරන ගමන්, Kahaani නොබලපු කෙනෙක් ඉන්නවා නම් ඉස්සෙල්ලා ඒක බලලා ඉන්න කියලත් මතක් කරනවා. කොහොමත් බොබ් බිස්වාස් බලන්න Kahaani බලලම ඉන්න ඕන නැහැ. ස්වාධීන විදිහට බොබ් බිස්වාස් රසවිඳින්න පුළුවන්.

 

Leave a Reply

Your email address will not be published.