අන්නාත! අන්නාත කියන්නේ බාල සහෝදර සහෝදරියන් මවක් වගේ රැකබලා ගන්න වැඩිමල් සහෝදරයට. (අන්නා – අයියා, ආත්තා – අම්මා. අන්නා+ආත්තා=අන්නාත) රජිණිකාන්ත්ගේ සුපුරුදු මරණ මාස් Darbar, Petta වගේ චිත්‍රපටියක් බලන්න අදහස් කරනවා නම් අන්නාත ඊට සම්පූර්ණයෙන්ම වෙනස්.
කාලෛයන් හෙවත් අන්නාත ගම් භාර සභාපති කෙනෙක්. ගමේ සිද්ද වෙන අසාධාරණකම් වලට මැදිහත් වෙලා මිනිස්සුන්ට සාධාරණයක් ලබා දෙන එක තමයි අන්නාතගෙ රාජකාරිය. නාට්ටදුර මේ ප්‍රදේශයේ මිනිසුන් වංචා කරමින් අසාධාරණ විදිහට දේපල, වස්තුව උපයා ගන්නවා. දවසකදි නාට්ටදුරෛගේ ක්‍රියා කලාපයට අන්නාත විරුද්ධ වෙනවා. අන්නාත ගැන නාට්ටදුරෛ වෛර බැඳගන්නවා. මේ අන්නාතගෙ මුළු පණම එකම නංගි මීනාක්ෂි. අධ්‍යාපන කටයුතු අවසාන කරලා අපහු ගමට ආව මීනාක්ෂිට කසාදයක් කරලා දෙන්න කාලෛයන් ලැහැස්ති වෙනවා. බලන්න යන හැම මනමාලයම අන්නාතට තියෙන බය නිසා මීනාක්ෂිව කසාද බඳින්න අකැමති වෙනවා. කොහොමින් හරි නාට්ටදුරෛ හා අන්නාත අතර තිබුණ විරෝධී කම හිතවත් කමකට මාරු වනවා. තරහා අමතක කරපු නාට්ටදුරෛ ගෙදරටම විවාහ යෝජනාවක් අරගෙන එනවා. කාලෛයන් එක පයින්ම කසාදයට කැමැත්ත දෙනවා. මීනාක්ෂිත් අයියගෙ වචනෙ ඉස් මුදුනින් පිළිඅරගෙන කසාදයට කැමැත්ත දෙනවා. විවාහයේ සැරසිලි පෙර සූදානම් කරලා විවාහය සැනකෙළියක් වගේ ලැහැස්ති කරනවා. කසාදයට වෙලාව ලංවෙලා තියෙද්දි තමයි දැනගන්න ලැබෙන්නෙ මීනාක්ෂි අතුරුදහන් වෙලා කියලා.